- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි"
ලබන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත පළාත් පාලන මැතිවරණ සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් තොරව තනිව තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) පවසයි.
ඒකාබද්ධ විපක්ෂය සමග එකමුතුව පළාත් පාලන මැතිවරණවලට තරග කිරීම සඳහා සාකච්ඡා පැවැත්වුණු නමුත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය පාර්ශවයෙන් අවංක උත්සාහයක් නොදැරුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.
"සාකච්ඡා පැවැත්වුණා, ඒත් ඒ අය අවංකව මේක සාර්ථක කරගන්න සාකච්ඡාවට ප්‍රවේශ වුණා කියල මට පෙන්නේ නෑ," ඔහු පැවසීය.
ඒ පිළිබඳව සෙනසුරාදා රාත්‍රියේ පැවති මූලික සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි හා සීබී රත්නායක මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ.
"මේ නම් කරපු කණ්ඩායම දිහා බැලුවමම, ඒගොල්ල දිගින් දිගටම වෙනම පක්ෂයක් හදන්න මුල්වෙච්ච කට්ටිය. ඒ වගේම මේ එකතුවීම්වලට අකමැති කණ්ඩායමක් තමයි මේකට නම් කරලා තියෙන්නේ," අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.
නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවලට එක්ව සිටියහ.
සෙනසුරාදා පැවති සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන, "මූලික එකඟතා කිහිපයකට අපිට එන්න පුළුවන් වුනා. නමුත් ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක් ගැන අපිට අපේ නායකයන් සමග සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ ගැන එකඟතාවකට එන්න බැරිවුනා. ඒ ගැන දෙපාර්ශ්වයේම නායකත්වය සමග සාකච්ඡා කරලා නැවත අඟහරුවාදා රැස්වෙනවා තීරණයකට එළඹෙන්න."
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අගමැති පදවිය හෝ විපක්ෂ නායක පදවිය ලබා දිය යුතු යයි සාකච්ඡාවලදී කොන්දේසියක් ඉදිරිපත් වූ බවට මාධ්‍ය වාර්තා පළවුවත් දෙපාර්ශවයම එය ප්‍රතික්ෂේප කළහ.
එහිදී සාකච්ඡා වූ කොන්දේසි මොනවා දැයි දෙපාර්ශ්වයම හෙළිකර නැත. ඉන් අනතුරුව අඟහරුවාදා පැවති සාකච්ඡා සාර්ථක නොවූයේ ආරම්භයේ සිටම එකමුතුව තරග කිරීමේ අපේක්ෂාව සාර්ථක කරගනු වෙනුවට එය "කඩාකප්පල් කිරීම සඳහා" ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිස කටයුතු කිරීම හේතුවෙන් බවට ද ධීවර අමාත්‍යවරයා චෝදනා කරයි.
"ඒ නිසා අපේ බලාපොරොත්තුවක් නෑ. අපි නාම යෝජනා භාර දෙන එක ඉදිරි දිනවල සිද්ද වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට, එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියට අපි තරග කරන්න."
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 කට වැඩි පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන බැවින් තනිව තරග කර ශ්‍රීලනිපයට ජයග්‍රහණය කළ හැකි දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ, "ජනතාව අපිට ඡන්දේ දෙනවා. අපිට ජයග්‍රහණයක් කරන්න පුළුවන්. අපි එකතු වුනා නම් විජයග්‍රහණයකට යන්න තිබුණ. ඒ සඳහා තමයි අපි උත්සාහ දැරුවේ," යනුවෙනි.
ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබුණ ද, කිසිදු මැතිවරණයක් එජාපය සමග එක්ව තරග කිරීමේ අදහසක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
දැනට අධිකරණය හමුවේ පවතින නඩු විභාග සහ පසුගියදා ප්‍රකාශයට පත් වූ සීමා මායිම් විස්තර කිරීමේ ගැසට් නිවේදනයේ මුද්‍රණ දෝෂ හේතුවෙන් පළාත් පාලන මැතිවරණ තවත් කල් යනු ඇති බවට අවධානය පළ වී තිබුණි.
ඒ අනුව ආයතන 93 ක් සඳහා මැතිවරණ ලබන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිතය.