- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්!
Image copyright NHK
Image caption "මම කැමතියි ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරගන්න" - සතොරු අන්සාකි
පසුගිය සඳුදා ජපානයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් අපූරු සාදයක් පැවැත්විය.
සතොරු අන්සාකි (Satoru Anzaki) නම් ඔහු මෙම සාදයට ඔහුගේ මිතුරන්, පාසල් සමයේ මිතුරන්, ව්‍යාපාර හවුල්කරුවන් සහ සේවකයින් ඇතුළු 1000 කට ආසන්න අමුත්තන් පිරිසකට ආරාධනා කර තිබුණි.
මාරක පිළිකා රෝගයකින් පීඩා විඳින ඔහු සිය මරණයට පෙර විශාල පිරිසක් කැඳවා එවැනි සාදයක් පැවැත්වූයේ සිය ජීවිත ගමනේ දී හමුවූ සියලු දෙනාටම ස්තුති කිරීමට සහ සිය ආචාරය පුද කර සිටීමටය.
යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන කොමට්සු (Komatsu) සමාගමේ හිටපු සභාපතිවරයා වන අන්සාකි මේ වන විට 80 වැනි වියේ පසුවෙයි. පසුගිය ඔක්තෝබර් මස ඔහුගේ පිත්තාශයේ පිළිකාවක් වර්ධනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
"මගේ ජීවිතයේ හමුවූ මිනිසුන්ට 'ස්තුතියි' කීමට ලැබීම ගැන මට සතුටුයි," විශේෂ සාදය අවසන් වූ පසු ඔහු වාර්තා කරුවන්ට පවසා සිටියේය.
"මට ජීවත් වෙන්න ඉතුරු වෙලා තිබෙන පොඩි කාලය ඇතුළත, මම කැමතියි ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරගන්න. ඒ නිසා මම තීරණය කළා අතුරු ප්‍රතිඵල ගෙන දෙන ප්‍රතිකාර නවත්වන්න."
අන්සාකි මෙම සුපිරි සාදය ගැන පළමුවෙන්ම ඉඟි පළ කළේ පසුගිය නොවැම්බර් 20 වෙනි දිනය. ඔහුගේ මෙම වෙනස් අදහස සහ නොබියව මරණයට මුහුණ දීමේ ශක්තිය ගැන බොහෝ දෙනා ප්‍රසාදය පළ කළහ. මෙම සාදයට ලැබෙන ආරාධනා පත්‍රය කෙසේ නිම විය යුතු ද යන්න පිළිබඳව නොයෙක් සරදම් සහ රස කතා පැතිර ගියේය.
සාදය සඳහා විශේෂයෙන් බද්දට ගත් ටෝකියෝ නුවර පිහිටි හෝටලය අන්සාකිගේ ජීවිත ගමනේ මතක සටහන් වලින් සරසා තිබිණි.
මෙහි පැමිණි අමුත්තන් විශ්මයට පත්කරමින් ඔහු තම නිවස පිහිටි ටොකුෂිමා (Tokushima) ප්‍රදේශයෙන් නර්තන කණ්ඩාමයක් ද සහභාගි කර ගත්තේය.
පැමිණ සිටි බොහෝ දෙනාට අතට අත දී ඔහු සිය හද පිරි ආචාරය පුද කළ බවත් ජපාන මාධ්‍යය වාර්තා කර තිබේ.
"ඒක බොහොම විනෝදජනක උත්සවයක්" එයට සහභාගී වූ අමුත්තෙක් පැවසීය.
"මමත් අසනීපයකින් දුක් විඳිනවා. මේ සාදය නිසා මට ජීවිතයේ ඉතුරු ටික ගෙවන හැටි හිතාගන්න පුළුවන්," ඒ අමුත්තා වැඩිදුරටත් පැවසීය.