- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා"
කොළඹ නගරයෙන් ඉවත් කරන යාචකයන්ට දිනකට රුපියල් 1,500ක් උපයාගත හැකි පරිදි පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් රැකියා අවස්ථා ලබා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ජනවාරි පළවෙනි දින සිට කොළඹ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල මහා මාර්ග හා පොදු ස්ථානවල සිඟමන් යැදීම තහනම් කිරීමට තීරණය කළ රජය, කිසිදු පිළිසරණක් නොමැතිව හිඟමනට වැටී සිටින යාචකයින් රැකබලාගැනීමේ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ද ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව කොළඹ නගරයේ මංමාවත් වල වාහන වලින් සිඟමන් යදින පිරිස් පොලීසිය විසින් මුලින්ම ඉවත්කිරීම ආරම්භකරනු ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යපෘති අධ්‍යක්ෂක රන්ජිත් මීගස්වත්ත බීබීසි සිංහල සේවයට පැවසීය.
"600කට ආසන්න යාචකයන් පිරිසක් කොළඹ නගරයේ දැන් සිටින බවටයි පර්යේෂණ දත්ත පෙන්නුම් කරන්නේ. ඔවුන් ක්‍රමානුකුලව පුනරුත්ථාපනය සඳහා ගෙනියනවා. මුලින්ම වාහන වලින් සිඟමන් යදින අය ඉවත් කරාවි පොලිසිය," යනුවෙන් යාචක තහනම ක්‍රියාත්මක වන ආකාරය ඔහු විස්තර කළේය.
යාචකයන්ට කොළඹ තහනම්
"වාහන හිමියන්ගෙන් පැමිණිලි රැසක් තියෙනවා. ඇතැම් අවස්ථාවල සල්ලි දුන්නේ නැතිවුනාම වාහන හූරගෙන යනවා. රිය අනතුරු පවා මේ නිසා වෙලා තියෙනවා."
එබැවින් වාහනවලින් සිඟමන් යැදීම නැවැත්වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද රන්ජිත් මීගස්වත්ත සඳහන් කළේය.
පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලබන යාචකයන් අධිකරණය මාර්ගයෙන් රිදීගම පුනුරුත්තාපන මධ්‍යස්ථානයට බාරදීමට නියමිතය.
"රිදීගම දැනට 480ක් ඉන්නවා. අළුත් අය ගෙනියන්න අපි රුපියල් කෝටි 8ක් වැය කරලා නව ගොඩනැගිලි හදලා තියෙනවා. සියළු පහසුකම් තියෙන තැනක් ඒක," ව්‍යපෘති අධ්‍යක්ෂක රන්ජිත් මීගස්වත්ත පැවසීය.
යාචක තහනම ගැන බීබීසියට අදහස් දැක්වූ යාචකයන් බහුතරයක් පැවසුවේ ආණ්ඩුව ලබාදෙන දීමනා තමන්ට ප්‍රමාණවත් නොවන බවය. විශේෂයෙන්ම රුපියල් 1,000ත් - 2,000ත් අතර ආදායමක් තමන් දිනකට ලබන බව ඔවුහු පැවසූහ.
"මහත්තයෝ බොරු කියන්න බැහැ. මට රුපියල් 2,000ක් විතර දවසකට මෙතන වාහනවලින් ලැබෙනවා. දැන් ඒ ආදායම කවුද දෙන්නේ? වැඩිම වුනොත් ආණ්ඩුවෙන් රුපියල් 3,000 ක් හරි 4,000ක් මාසෙකට දේවි," කොළඹ නගරයේ මහා මාර්ගයක සිඟමනේ යෙදෙන සරත්, යාචක තහනම ගැන දරන්නේ එවැනි අදහසකි.
කෙසේ වෙතත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ යාචකයන්ට රැකියාවක් කළ හැකි නම් දිනකට රුපියල් 1,500ක ආදායමක් ලබාගත හැකි පරිදි තම අමාත්‍යංශය යටතේ ඇති පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් රැකියා ලබාදෙන බවය. ඔවුන් සඳහා දැනටමත් රැකියා අවස්ථා වෙන්කර ඇති බව ද රන්ජිත් මීගස්වත්ත පැවසීය.
විවිධ ආබාධ හේතුවෙන් රැකියාවක් කර ගත නොහැකි අය සඳහා ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.