- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ අමාත්‍ය පදවියෙන් ඉවත්කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අමාත්‍යවරයා දිගින් දිගටම පක්ෂයේත් කැබිනට් මණ්ඩලයේත් සාමූහික වගකීම උල්ලංඝනය කරමින් කටයුතු කරන බැවින් ඔහු අමාත්‍ය පදවියෙන් ඉවත් කළ යුතු බවට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව ද පක්ෂ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් නිකුත්කළ නිවේදනයක සඳහන්වේ.
පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සමග සාකච්ඡා කර සිය ප්‍රකාශ නිවැරදි කිරීම පිණිස කටයුතු කරන මෙන් පක්ෂය මීට ඉහතදී කළ දැනුම්දීමට එකඟත්වය පළ කළ අමාත්‍යවරයා, ඉන් අනතුරුවත් එම එකඟතාව කඩකරමින් තවදුරටත් රජයේ අමාත්‍යවරුන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කළ බවත් නිවේදනයේ දැක්වේ.
ව්‍යවස්ථා සභාව
සම්මුතිවාදී ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය පදවි සම්බන්ධයෙන් පවතින එකඟතාවය ප්‍රකාර විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත්කරන මෙන් නිර්දේශ කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දැනුම්දීම ප්‍රකාර ජනාධිපතිවරයා විසින් ඔහු අමාත්‍ය පදවියෙන් ඉවත්කෙරෙනු ඇතැයි අපේක්ෂිතය.
එසේ වුවහොත් සම්මුතිවාදී ආණ්ඩුවේ අමාත්‍ය පදවියකින් පහ කරන ලද පළමු මන්ත්‍රීවරයා ඔහුය.
සබැඳියාවන් අතර ගැටුම් සහ දූෂණ චෝදනා යටතේ තිලක් මාරපන සහ රවි කරුණානායක අමාත්‍යවරුන් මීට ඉහතදී අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්විය. ඉන් අනතුරුව පැවති කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය පදවියට යළිත් පත්කෙරුණු තිලක් මාරපන අමාත්‍යවරයා, පසුව විදේශ කටයුතු අමාත්‍ය පදවියට ද පත්කෙරුණි.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රටේ ඉහලම තනතුරු සම්බන්ධයෙන් තීන්දු කරනු ලබන ව්‍යවස්ථා සභාවේ අගමැතිවරයාගේ නියෝජිතයා ලෙසින් ද කටයුතු කරයි.