- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සැන්ඩි එපා!
සැන්ඩි එපා!
සමහර වෙලාවට "සෝඩා ටිකක් දාල පොඩ්ඩක් ගේන්නද?" කියල ඇහුවහම විවිධ පිළිතුරු ලැබෙනවා. "පාවිච්චියක් නෑ!", "දැන් නවත්තල ඉන්නේ!", "දැන් බෑ!", "එහෙනං පොඩ්ඩක් ගම්මුකෝ!" ඉඳලා "සෝඩා එපා!" දක්වා විවිධ ප්‍රතිචාර ඔය අතර තිබෙනවා. ලාල්කාන්ත සහෝදරයා වගේ "උවමනාවක් නැතත්" යාලුවන්ගේ වදේට හරි "මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් විදිහට" හරි ගන්න අයත් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඉතිං ඔතැන උවමනාවක් නෑ කියන එකෙන් කියන්නේ ඔය විදිහට වෙනත් කෙනෙක් බල නොකළානම් හොයාගෙන ගිහින් ගන්න උවමනාවක් නෑ කියන එක පමණයි. වෙනත් අයෙකුගේ බල කිරීමට යටවෙන කෙනෙක් වුනත් කරන්නේ අවසාන වශයෙන් තමන් කැමති දේ. එහෙම නැත්නම් නොකර ඉන්න බැරිකමක් නැහැනේ!
සැර මත්පැන් පැණිබීම වලින් සැන්ඩි කරන එක ලංකාවේ සාමාන්‍ය දෙයක්. එයට ආර්ථික සාධක වගේම සංස්කෘතික සාධකත් හේතු වෙනවා.
සැන්ඩි කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මත්වීම පාලනය කරගැනීම. අනෙක් පැත්තට මූලික වශයෙන්ම මත්පැන් බොන්නේ මත්වෙන්න කියා හිතුවොත් මේ චර්යාවේ පරස්පරයක් පේනවා. වෙනත් විදිහකින් කිව්වොත්, බොනවා තමයි- ඒත් මත්වීමේ උවමනාවක් නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ විදිහට සැන්ඩි කරමින් බොන්නේ, යාලුවන්ගේ බල කිරීමට යටවුණේ නැත්නම්, හොයාගෙන ගිහිං බොන්න තරම් උවමනාවක් නැති අය බවයි. ඒ නිසා, මේක මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් කියන එකේ වැරැද්දක් නැහැ.
සමහර සාමූහික චර්යා වලින් පිළිබිඹු වෙන්නේ පුද්ගල චර්යා වල එකතුව නෙමෙයි. සමූහයක කිසිම තනි පුද්ගලයෙකුට පෞද්ගලිකව කරන්න අවශ්‍ය නොවන දෙයක් එවැනි පුද්ගලයින් සමූහයක් විසින් කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. බුදු පිළිමයක් කැඩීම, පල්ලියකට ගලක් ගැහීම, හදිසි අනතුරකින් පසු රියදුරාට පහර දීම වගේම සංචාරයක යෙදීම, සිල් ගැනීම වගේ තනි තනිව කරන්න කිසිවෙකුට උවමනාවක් නැති ගොඩක් දේවල් ඔය විදිහට පුද්ගලයින් කණ්ඩායමක් විසින් කරන්න පුළුවන්. එවැනි උවමනාවක් තිබෙන එක් පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකු විසින් කවර ආකාරයෙන් හෝ සමූහයක් මෙහෙයවීම වෙනම කරුණක්. මා කියන්නේ ඒ ගැන නෙමෙයි.
සමාජගත වීම සඳහා මත්පැන් බොන ඇතැම් කණ්ඩායම් වල කිසිවෙකුටත් තනිතනිව මත්පැන් බොන්න අවශ්‍ය නැහැ. නමුත්, "අනිත් අය ගැන හිතා" හැමෝම සෙට් වෙනවා. සමාජ සත්ත්වයෙක් වන මිනිසාගේ ඔය වගේ හැසිරීම් ඕනෑ තරම් තියෙනවා. මේ වගේ හැසිරීම් ක්‍රීඩා න්‍යාය (game theory) ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන්.
තමන්ගේ උවමනාවට තනිව මත්පැන් බොන පුද්ගලයෙක්ට සැන්ඩි වැදගත් නැහැ. නමුත්, යාළුවන්ගේ උවමනාවට සෙට් වෙන කොටනම් සැන්ඩි නැතුවම බැහැ. මෙතැන ගේම් එක ඩෝප් නොවී වැඩි වෙලාවක් අල්ලගෙන ඉන්න එකයි. මොකද සතුට තියෙන්නේ සෙට් වෙන එකේ මිසක් මත්පැන් වල නෙමෙයි. මත්පැන් වලින් කරන්නේ සෙට් වෙන්න හේතුවක් සපයන එක පමණයි.
සංඛ්‍යාලේඛණ මත පදනම් නොවී නිගමන වලට එළැඹෙන එක නිවැරදි නැති වුවත්, මම හිතන විදිහට බටහිර රටක මිනිස්සුන්ට සාපේක්ෂව ලංකාවේ මිනිස්සු මේ විදිහට සෙට් වෙන්න වැඩි කාලයක් වෙන් කරනවා. කාලයේ ආවස්ථික පිරිවැය සාපේක්ෂව අඩුවීම මෙයට එක් හේතුවක් කියන්න පුළුවන්.
බටහිර රටකදීනම් මේ වගේ එකතුවකදී කියන වෙලාවට හැමෝම වගේ එනවා. පැමිණිය යුතු වෙලාව වගේම සාදය අවසන් වන වෙලාවත් බොහෝ විට ඇරයුමේම තියෙනවා. ඒ වෙලාවට සභා තොමෝ සතුටින් විසිර යනවා. හැබැයි මේ කියන්නේ ලංකාව වැනි රටවලින් ආ සංක්‍රමණිකයින් ගැන නෙමෙයි. (ඔවුන්ගේ හැසිරීම ග්රාම්යයි කියා කියන්න හදනවත් නෙමෙයි).
ලංකාවේ ඔය වැඩේ ඔය විදිහට නොවන බව කියවන කවුරුත් දන්නවනේ. "මචං, පොඩ්ඩක් පරක්කුයි. තව පැය බාගෙන් ඔතැන." කියා කියන එකා එන්නේ තව පැය එකහමාරකින් වීම කාටවත් පුදුමයක් නෙමෙයි. ඒ වගේම එක්කෙනෙක් දෙන්නෙක් ආපහු ගියා කියා වැඩේ නවතින්නෙත් නැහැ. ඉතුරු අය ඇදගෙන යනවා. ඉවර වෙන වෙලාව වැඩේ සංවිධානය කරපු කෙනාටවත් කලින් කියන්න පුළුවන් කමක් නැහැ. මෙයට හේතුව ලංකාවේ පොදු ප්‍රවාහනයේ දුර්වලතා හෝ මාර්ග තදබදය පමණක්ම නෙමෙයි. ඔය විදිහට තැනකට වෙලාවට නොඑන ඇතැම් අය ඇතැම් වැදගත් දේ මොන විදියෙන් හෝ හරියටම නැකැත් වෙලාවකට කරනවා.එහෙම නැකතකට වැඩක් වෙනවා කියලා දන්නා අවස්ථා වලදී කොහොම හරි වෙලාවට එනවා.
ඇත්ත නැත්ත කොහොම වුවත් මත්පැන් මත පනවා තිබෙන විශාල බද්ද සාධාරනීකරණය කරන්නේ සමාජ යහපත ඉස්සරහට දාලනේ. මෙහි එක අතුරු ඵලයක් වන්නේ "කලවම් බඩු" විශාල ලෙස වෙළඳපොළට එන එක. මේ වැඩේ කරන්න පහසු වෙන්න හේතු වී තිබෙන එක් කරුණක් වන්නේ සැන්ඩි කිරීමේ පුරුද්දයි.
කාලයක් ඇතැම් අය ගෙන ආ තර්කයක් වුනේ සැර අඩු මත්පැන් මිල අඩු කර සැර වැඩි මත්පැන් භාවිතයේ හානි අඩු කළ යුතු බවයි. නමුත්, සමාජශීලී වෙන්න බොන ලංකාවේ ගොඩක් අය බොන්නේ සැර අඩු මත්පැන් වර්ග වලටත් වඩා තනුක කරලා. ප්‍රශ්න විසඳගන්න බොන අය කොහොමටත් සැර අඩු මත්පැන් හොයනවා අඩුයි.
බටහිර රටක මත්පැන් මිල සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා, කිසියම් පෞද්ගලික සාදයක් වගේ තැනක වුවත් මත්පැන් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා, බොන කෙනෙකුට විකල්ප වැඩියි. ලංකාවේ අධික මත්පැන් මිල එක්ක විකල්ප සීමා වෙනවා. ඒ නිසා, ඇල්කොහොල් සාමූහිකයක් ඇතුළේදී "ප්රජාතන්ත්රවාදය අනුව" බහුතරයේ කැමැත්තට අනික් අයට යට වෙන්න වෙනවා. එවිට, පුද්ගල කැමැත්ත යටපත් වෙනවා. සැන්ඩි කිරීම ප්‍රචලිතව තිබීම ඇතුලෙ තිබෙන්නේ ඒ විදිහට පොදු කැමැත්ත ඇතුළේ යට වෙන පුද්ගල කැමැත්ත මතු වෙන ආකාරයයි. එක් එක් පුද්ගලයා විසින් කරන්නේ තිබෙන එකම ඇල්කොහොල් විකල්පය තමන්ට අවශ්‍ය තරමට සැන්ඩි කරගෙන තමන්ට අවශ්‍ය නිෂ්පාදනය හදාගන්න එක. මේ පුරුද්ද නිසා, එකම බෝතලයෙන් වුවත් එක් එක් පුද්ගලයාට අවශ්‍ය දේ බොන්න ඉඩ සැලසිලා තිබෙනවා.
අපි ලියන දේවල් වුනත් කියවන අය කියවන්නේ තමන්ට අවශ්‍ය පමණට සැන්ඩි කරගෙන. ඒකත් පුද්ගල කැමැත්ත. කෙනෙක් ලියන දේවල් වැඩිපුර බීලා වෙනත් කෙනෙක් මත්වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි සමහර වෙලාවට සමහර අය කියවන්නේ එනකොට අරන් එන සැන්ඩිම විතරයි!
වෙන ලිපි වල වගේම මේ ලිපියේ තියෙන දේවලුත් තමන්ට කැමති පමණ සැන්ඩි කරගෙන කියවන්න. අරගෙන ආපු සැන්ඩි විතරක්ම වුනත් කමක් නැහැ. එය ඔබේ කැමැත්ත.
සුබ නව වසරක්!
ලිවුවේ ඉකොනොමැට්ටා Economatta
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26