- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි"
ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් ඉදි කෙරෙන වරාය නගරය ශ්‍රී ලංකාවේ භූමියක් ලෙස නම් කෙරෙනු ඇති බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
එහි ගොඩ කිරීම් නිම වූ වහාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඒ බව ප්‍රකාශයට පත් කරනු ඇති බව කොළඹ වරාය නගර භූමියේ ඉඩම් ගොඩ කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ඇමතිවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
වරාය නගරය සඳහා ගාලු මුවදොර මුහුදු තීරයේ හෙක්ටයාර 269ක මුහුදු ප්‍රදේශයක් ගොඩ කෙරෙන අතර එහි 50%ක කටයුතු දැන් අවසන්ව ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
"2019 වෙනකොට මේකේ ඉඩම් ගොඩ කිරීම අවසන් වෙනවා. ඊට පෙර ලබන අවුරුද්දේ මැද වෙනකොට මෙහි මූල්‍ය නගරයේ කටයුතු අපි ආරම්භ කරනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
පෝට් සිටි ව්‍යාපෘතියේ 50% වැඩ අවසන් - චම්පික රණවක
පසුගිය ආණ්ඩුව වරාය නගරය ලෙස නම් කළ පෝට් සිටි ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව නම් කර ඇත්තේ මූල්‍ය නගරය ලෙසය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය සේවා සැපයුම් ක්‍රියාවලියේ ප්රමුඛයෙකු බවට පත් කිරීම එහි අපේක්ෂාව බව රජය පවසයි.
"මේකට කලින් තිබුණේ ගොඩක් විනෝදාස්වාදය මුල් කරගත් අරමුණක්. කාර් රේස්, කැසිනෝ පවත්වාගෙන යන්න, අපි ඒ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන මෙහි කැඳවන්න තීරණය කර තිබෙනවා" යනුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.
වරාය නගරයෙහි පර්චසයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 285,000ක් වැය වන බව පැවසූ අමාත්‍යවරයා එය ලක්ෂ 200ක් පමණ මුදලකට විකිණිය හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේය.
චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන ආයෝජන ගැන කලාපීය බලවතා වන ඉන්දියාව සිටින්නේ එතරම් කැමැත්තකින් නොවේ.
ඒ ගැන විමසීමේදී ඇමතිවරයා පැවසුවේ ඉන්දියාව ඇතුළු විදේශ රටවල ආයෝජකයන්ට ද මෙම ඉඩම් ලබාගත හැකි බවය.
"ඉන්දියාවේ අමරාවතිය පටන් ගත්තා මෝඩි අගමැතිතුමා. මේක තමයි ලංකාවේ කේතුමතිය"
2018 වසරේ පළමු කාර්තුවේ දී ඉඩම් වෙන්දේසි කිරීම ආරම්භ වන බව ද ඇමතිවරයා සඳහන් කලේය.
වරාය නගර ව්‍යාපෘතිය සඳහා මීගමුව මුහුදු තීරයෙන් වැලි ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර නිවාස රැසක් මුහුදුබත් වීමේ අවදානමක පවතින බව ප්‍රදේශයේ ජනතාව සහ ධීවර සංවිධාන චෝදනා කරති.
කෙසේ නමුත් අමාත්‍යවරයා පැවසුවේ මීගමුව වැනි ප්‍රදේශවල මුහුදු ඛාදනය වරාය නගරයට පෙර පටන්ම තිබු බවය.
"වෙරළ ඛාදනය නිසා අපිට සියවස් ගණනක් බිම අහිමි වුනා. ඒ අහිමි වෙච්ච බිම නැවත ලබාගැනීම සිදුවන පළමුවැනි ව්‍යාපෘතිය මේක"
මෙම ව්‍යාපෘතියෙන් ලබාගන්නා අත්දැකීම් අනුව ඉදිරියේදී කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තිරයේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදහසක් ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.