- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම්
Image copyright Getty Images
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවේචනය කිරීමෙන් වැළකී සිටින මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ (එජාප) මන්ත්‍රීවරුන්ට අවවාද කර තිබේ.
එජාප නායකයා ද වන අගමැතිවරයා ඒ බව දැනුම් දී තිබෙන්නේ සඳුදා (නොවැම්බර් 27) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවා අදහස් දක්වමිනි.
එජාපය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සහ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවේචනය කරමින් පසුගිය සතියේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ අතර ඉන් අනතුරුව නිකවැරටියේ දී ජනහමුවක් ඇමතූ ජනාධිපතිවරයා එයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීය.
"වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු," බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ එජාප මන්ත්‍රීවරුන් එල්ල කරන විවේචනවලට ප්‍රතිචාරයක් ලෙසිනි.
දූෂණයට සහ වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නා විට තමාට චෝදනා එල්ල කරන්නේ නම් "සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම්" බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී පැවසුවේය.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ එක්ව තරග කිරීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ ඒකාබද්ධ විපක්ෂය පවත්වන සාකච්ඡා ද හේතුවෙන් එජාපය හා ශ්රීලනිපය අතර සම්මුති ආණ්ඩුව බිඳවැටෙන ලකුණු පෙනී යන බවට පසුගිය දිනවල වාර්තා පළවෙමින් තිබිණ.
මේ අතර මතු වී තිබුණු අර්බුදය පිළිබඳව ආණ්ඩුවට සහාය දක්වන සිවිල් සංවිධාන නායකයන් ඉරිදා ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කරගෙන තිබේ.
බැඳුම්කර කොමිසම පිහිටුවීම සම්බන්ධයෙන් එජාපයේ ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ පිළිබඳව එහිදී ජනාධිපතිවරයා සිය කණස්සල්ල පළ කළ බව එම සාකච්ඡාවට එක්වූ පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ බීබීසි සිංහල සේවයට පැවසීය.
මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය සමග සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව එහිදී පිළිගෙන තිබූ ජනාධිපතිවරයා, එය එජාපය සමග තිබෙන ජාතික ආණ්ඩුවට ගැටලුවක් නොවනු ඇතැයි ප්‍රකාශ කළ බව ද ගාමිණී වියන්ගොඩ සඳහන් කළේය.
මේ අතර ජනාධිපතිවරයා හා තමා අතර පැවති සාකච්ඡාවක ප්‍රගතිය ගැනද සඳුදා පවති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට කරුණු පහදා දී තිබේ.
විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා පැවැත්වෙන්නේ ශ්‍රීලනිපයේ තීරණයක් අනුව යයි ජනාධිපතිවරයා තමන්ට පැවසූ බව අගමැතිවරයා එහිදී සඳහන් කළේ යයි බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ එජාප අමාත්‍යවරයෙක් පැවසීය.
පක්ෂ දෙකේ සම්මුතියට බාධා වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසත් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පෙර පක්ෂය නායකත්වයෙන් අවසර ගන්නා ලෙසත් එම රැස්වීමේදී අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ජනාධිපතිවරයා විවේචනය කරමින් පාර්ලිමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව පක්ෂයේ අනුදැනුමෙන් තොරව සිදුවූවක් යයි ප්‍රකාශ කළ අගමැති රනිල් වික්‍රමසිංහ, ඉදිරි මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය හා ශ්රීලනිපය එක්ව තරග කළත් නොකළත් එය එජාපයට බාධාවක් කර ගත යුතු නැති ද සඳහන් කර තිබේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය හා ශ්රීලනිපය එක්ව තරග කිරීමේ හැකියාව පිළිබඳ තවත් සාකච්ඡාවක් අඟහරුවාදා (නොවැම්බර් 28) රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.
මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පුවත්පතකට ප්‍රකාශකර තිබෙන්නේ ශ්රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවයක් ඇතිවී තිබෙන බවට පළ වන වාර්තා නිවැරදි නොවන බවය. දැනට පැවැත්වෙන සාකච්ඡා ප්‍රකාර කණ්ඩායම තීරණයක් ගනු ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.