- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
බොට්ස්වානා බුදුපිළිමය සොරුන් ගෙන ගිහින්!
Image caption සොරකම් කර ඇති බුදු පිළිමය
ගබෝර්න් (Gaborone) අගනුවර බෞද්ධ විහාරයේ තැන්පත් කරනු ලැබ තිබුණ ටොන් භාගයක් පමණ බරැති බුදු පිළිමයක් සොරකම් කරනු ලැබ ඇතැයි බොට්ස්වානා පොලිසිය පවසයි.
තමන්ගේ වන්දනාමාන ලබමින් වැඩ සිටි බුදු පිළිමය නැති වීමෙන් මහත් කම්පාවට පත්ව සිටින බොට්ස්වානා බෞද්ධ ප්‍රජාව පිළිමය ආපසු ලබා ගැනීම සඳහා උදව් වෙන මෙන් ඉල්ලීමක් කරති.
උසින් අඩි පහක් සහ පළලින් මීටරයකටත් වැඩි එම තඹ බුදු පිළිමය 1996 වසරේ තායිලන්තයෙන් පූජා කරන ලදුව බොට්ස්වානා බෞද්ධ විහාරයේ තැන්පත් කර තිබුණි.
කීප දෙනකුගේ සහයෝගය නැතිව එසවිය නොහැකි තරම් බර බුදු පිළිමය රත්රන් වලින් නිමවා ඇතැයි සිතූ සොරමුලක් විසින් පැහැර ගෙන ඇත යන්න බොට්ස්වානා බෞද්ධයන්ගේ විශ්වාසයයි.
1975 දී ආරම්භ කරන ලද බොට්ස්වානා බෞද්ධ විහාරය මෙයින් පෙරත් සොරුන්ගේ ගොදුරක් වූ බව අප්‍රිකාවේ ප්‍රධාන සංඝනායක ඉලුක්පිටියේ පඥාසේකර නාහිමියෝ පවසති.
බොට්ස්වානා බුදු පිළිම සොරකම පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ උන්වහන්සේ, එවැනි සොරකම්වලට හේතුව පිළිම රනින් නිමවා ඇති බවට හෝ ඒවා තුළ රත්‍රන් ඇති බවට පවතින විශ්වාසය විය හැකි බවත් සඳහන් කළහ.
Image caption බුදුපිළිමය තැන්පත් කර තිබුණ ශාලාවේ බෞද්ධ භික්ෂූන් වැඩ සිටින අවස්ථාවක්
"2014 අවුරුද්දේත් පන්සල කැඩුවා. ඒත් එදා ලොකු පිළිමය ගෙන යන්න බැරිවෙලා තියෙනව. පොඩි බුදු පිළිම අරගෙන ගිහින් තිබුනා" අප්‍රිකාවේ සංඝනායක ඉලුක්පිටියේ පඥාසේකර නාහිමියෝ බීබීසියට ප්‍රකාශ කළහ.
අක්කර දෙකක පමණ භූමි භාගයක පිහිටා ඇති බොට්ස්වානා බෞද්ධ විහාරය ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර් හයක් පමණ ඈතින් අතුරු මාවතක පිහිටා ඇති අතර, එම ස්ථානය පහසුවෙන්ම සොරුන්ගේ ගොදුරක් විය හැකි තත්වයක පවතින බවත් ප්‍රධාන සංඝනායක ඉලුක්පිටියේ පඥාසේකර නාහිමියෝ පෙන්වා දෙති.
බොට්ස්වානා බෞද්ධ සංගමයේ සභාපතිනි දර්ශනී ද සිල්වා බීබීසියට තොරතුරු සපයමින්, එම බුදු පිළිමය ඇමෙරිකානු ඩොලර් 24500 ක් පමණ වටිනා කමක් සහිත යයි සඳහන් කළාය.
සහකාර පොලිස් කොමසාරිස් විට්නස් බෝසියා (Witness Bosija) ප්‍රකාශයක් නිකුත් කරමින්, ගබෝර්න් අගනුවර උතුරු කලාපයේ පිහිටි බෞද්ධ විහාරය බිඳ පිළිමය පැහැර ගෙන ගොස් ඇති බව තහවුරු කළේය.
දර්ශනී ද සිල්වා පවසන ආකාරයට විහාරස්ථානයේ ආරක්ෂාවට සවිකර තිබුණ අනතුරු ඇඟවීමේ සීනු පද්ධතිය අක්‍රීය කළ සොරමුල ජූලි නව වෙනිදා රාත්‍රියේ එම සොරකම සිදුකර ඇත.
කීප දෙනකු නොමැතිව එසවිය නොහැකි මට්ටමේ බර අනුව පිළිම සොරකම තනි පුද්ගලයකුගේ නොව අපරාධ කල්ලියක ක්‍රියාවක් වන බවත් ඇය පවසන්නීය.
1996 වසරේ වැඩම කරන ලද සොරකම් කරන ලද බුදු පිළිමයට අමතරව ශ්‍රී ලංකාවෙන් වැඩම කරන ලද තවත් බුදු පිළිමයක් බොට්ස්වානා විහාරයේ තැන්පත් කරනු ලැබ ඇත.
සොරකම සම්බන්ධයෙන් තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බව පොලිසිය පවසයි.
Image caption බොට්ස්වානා බෞද්ධ විහාරය
පිළිමය ඉක්මනින් සොයා නොගතහොත් සොරුන් විසින් එය උණු කරනු ලැබීමෙන් තමන්ට පිළිමය සදහටම අහිමි විය හැකි බවට බොට්ස්වානා බෞද්ධ ප්‍රජාව කනස්සල්ලට පත්ව සිටිති.
එරට පිහිටි හින්දු කෝවිල් පවා මෙලෙස සොරුන්ගේ ගොදුරු බවට පත්ව ඇත.
හින්දු කෝවිලකින් පිළිමයක් සොරකම් කිරීමේ සිද්ධියක් පසුගිය වසරේ වාර්තා විය.
බුදු පිළිමය සොරකම සිදු කෙරුණේ ටිබෙට් බෞද්ධ නායක දලයි ලාමා මෙම අගෝස්තු 17-19 අතර කාලය තුළ බොට්ස්වානා සරසවියේ දින තුනක ආගමික වැඩ මුළුවක් සඳහා සහභාගී වීමට නියමිතව තිබියදීය.
චීනයේ විරෝධය නොතකා බොට්ස්වානා බලධාරීන් දලයි ලාමාට එරටට පිවිසීමට වීසා දී ඇත්තේ එය තම රටේ ස්වෛරීභාවයට අදාළ කරුණක් යයි පවසමිනි.
චීනය බොට්ස්වානාහි ප්‍රධාන ආයෝජක රටවලින් එකක් වුවද එය නොතකා එම අවසරය දෙනු ලැබ ඇත.
එහෙත් දකුණු අප්‍රිකාව දලයි ලාමාට වීසා දීම පස් වතාවක් ම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
දලයි ලාමාගේ සංචාරය සහ බුදු පිළිමය සොරකම් කරනු ලැබීම අතර සම්බන්ධයක් නොමැති බව බොට්ස්වානා බලධාරීහු පවසති.