- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ට්රම්ප් විරෝධී ජර්මන් ප්රහාරය තවත් දැඩිවෙයි
BBC Sandeshaya 2017 මැයි 29
Image copyright EPA
Image caption සිය චාන්සලර්වරියට අවමන් කිරීමට තැත්කළ බවට ජර්මන් විපක්ෂ නායකයා ඇමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා කරයි
ජර්මනියේ ඉහළම මට්ටමේ දේශපාලනඥයන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව දැඩි විවේචන එල්ල කිරීමට පටන් ගෙන ඇත.
එම විවේචන එල්ල කිරීම ආරම්භ වුණේ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය තවදුරටත් විශ්වාසදායක සගයන් නොවන බවට ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල්(Angela Merkel) ප්රකාශ කිරීමෙන් දවසකට පසුවයි.
සඳුදා (මැයි 29) ප්රකාශයක් කළ ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල්, එක්සත් ජනපදය සමඟ පවතින මතභේදය සැඟවිය යුතු නැති කරුණකැයි කියා සිටියාය.
ඉන් අනතුරුව ප්රකාශයක් කළ ඇයගේ විදේශ ඇමතිවරයා "ඩොනල්ඩ් ට්රම්ප් ගේ ක්රියාමාර්ග මගින් බටහිර ලෝකය දුර්වල කෙරෙන බව කියා සිටියේය.
පසුගියදා සිසිලියේ පැවැත්වුන දියුණු කාර්මික රටවල් හතේ (G7 summit) සමුළුවට සහභාගී වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා 2015 පැරිස් පරිසර ප්රඥප්තියට අනුව කටයුතු කිරීම ප්රතික්ෂේප කිරීමත් සමඟ යුරෝපා-ඇමෙරිකානු සබඳතා නරක අතට හැරුණි.
Image copyright Getty Images
Image caption ඇමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා කරන ජර්මන් විපක්ෂ නායකයා
ජර්මනියේ මැතිවරණ මේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතයි.
ජර්මන් විපක්ෂ නායක මාර්ටින් ෂුල්ස් (Martin Schulz) මේ අතර ප්රකාශයක් කරමින්, ජනාධිපති ට්රම්ප් බ්රසල්ස් හමුවේ දී අන්ගෙලා මර්කල් චාන්සලර්වරියට අවමන් කිරීමට තැත්කළ බවට චෝදනා කළේය.
ජර්මන් විපක්ෂ නායකයා ජනාධිපති ට්රම්ප් සම්බන්ධයෙන් කෝපාවිෂ්ඨ වූයේ කුමන සිද්ධිය මුල්කර ගෙනද යන්න හරියටම පැහැදිලි නැතත් "ආඥාදායකයකු මට්ටමින් හැසිරෙන" බවට ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා කරයි.
මේ අතර තිරසාර සංවර්ධනය තේමා කරගත් බර්ලින් සමුළුවක දී අදහස් දැක්වූ චාන්සලර් අන්ගෙලා මර්කල්, යුරෝපය තම ඉරණම තමන්ගේම අතට ගත යුතුව ඇතැයි යළිත් අවධාරණය කළාය.
දියුණු කාර්මික රටවල සිසිලි සමුළුවේ දී ඇති වූ විවාදය මගින් පෙන්නුම් කෙරෙන්නේ 2015 පරිසර ප්රඥප්තිය ක්රියාවට නැංවීමේ අසීරුභාවය බවත් චාන්සලර්වරිය පෙන්වා දෙන්නීය.
පැරිස් ප්රඥප්තිය සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ට්රම්ප් පවසයි.
2015 පැරිස් පරිසර ප්රඥප්තිය නොතකා හරින බවට මින් පෙර ප්රතිඥාවක් දී සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෝක දේශගුණ විපර්යාසයන් සිදුවීම සම්බන්ධයෙන් ද පළ කළේ සැකයකි.
කෙසේවුවද, "අන්තර් අත්ලාන්තික්(Trans-Atlanticist) සබඳතා" පිළිබඳ විශ්වාසයේ තමා රැඳී සිටින බවත් චාන්සලර් මර්කල් බර්ලින් සමුළුවේ දී කියා සිටියාය.
ඉරිදා (මැයි 28) ප්රකාශයක් කළ ඇය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙන්ම රුසියාව වැනි කලාපීය බලවතුන් සමඟත් මිත්රශීලී සම්බන්ධතා පවත්වා ගැනීම ජර්මනියේ සහ යුරෝපයේ උවමනාව බව පෙන්වා දුන්නාය.