- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times
Image copyright Getty Images
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු බියවැද්දීම කිසිසේත් අනුමත කළ නොහැකි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසයි.
2015 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට චීනය මූල්‍යාධාර ලබාදුන් බව පවසමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගිය ජුනි 26 වෙනි දින විශේෂ ගවේෂණ වාර්තාවක් ප්‍රකාශයට පත්කළේය.
එම හෙළිදරවුව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිය ගවේෂණයට ශ්‍රී ලංකාවේදී පහසුකම් සපයා දුන් මාධ්‍යවේදීන් දෙදෙනෙකු දැඩි විවේචනයට ලක්කිරීම විවේචකයන් බියවැද්දීමේ උත්සාහයක් බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසයි.
"මේ මගින් විවේචකයන් නිහඬ කර, මාධ්‍ය නිදහසට අකුල් හෙළා අවසාන වශයෙන් ශ්‍රී ලංකාවාසීන් පොදු යහපත සඳහා තොරතුරු ලබාගැනීම වැළැක්වීමේ අටියෙන් මේ ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පෙනී යයි," යනුවෙන් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජාත්‍යන්තර සංස්කාරක, මයිකල් ස්ලැක්මන් (Michael Slackman) විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
එබැවින් ශ්‍රී ලංකාවේ ඕනෑම මාධ්‍යවේදියෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව ද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
රාජපක්ෂ පාලන සමයේ සමයේදී සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනය කිරීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර්, පෝද්දල ජයන්ත වැනි මාධ්‍යවේදීන් පැහැරගෙන යාම් හා පහරදීම්වලට ලක්කිරීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් එම පාලනයට චෝදනා එල්ල වී තිබේ.
එහෙත් එම චෝදනා සම්බන්ධ විමර්ශන සහ අධිකරණ විභාග ඉතා මන්දගාමී බවට දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන වත්මන් ආණ්ඩුවට ද චෝදනා එල්ල කරයි.
මැතිවරණ ව්‍යාපාරය සඳහා චීනය විසින් ඩොලර් මිලියන 7.6ට ආසන්න මුදලක් ලබාදුන් බවට එල්ලවන චෝදනා පිළිබඳ විමසීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එම මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.
කෙසේ නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපතිවරයා පසුව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබුණි. නිව්යෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව විමසා බලන බව ද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සඳහන් කර තිබේ.
කෙසේ වුවත් සිය වාර්තාව ගැන ගැටලුවක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියගන්වනු වෙනුවට සිය ජ්‍යෙෂ්ඨ සංස්කාරකවරුන් අමතන මෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජාත්‍යන්තර සංස්කාරකවරයා පවසයි.
මේ අතර නිවේදනයක් නිකුත් කළ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය, දේශපාලනමය පූර්ව විනිශ්චයන්ගෙන් පිරුණු, සාක්ෂිවලින් තහවුරු කළ නොහැකි වාර්තාවක් ලෙසින් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවට විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල වන බව සඳහන් කර තිබුණි.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඕනෑම රටක් මැදිහත් වීම චීනය ප්‍රතික්ෂේප කරන බව ද එහි සඳහන් වූ නමුත් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට මූල්‍යාධාර සැපයීමේ චෝදනාව එමගින් සනාථ කර හෝ ප්‍රතික්ෂේප කර නොතිබුණි.
PS- BBC was very silent on the original news item on this but glad as they have now begun to perform their duty.