- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
මේ පටන් ගත්තා විතරයි
- මහාචාර්ය සිරිමල් අබේරත්න
පසුගිය ආණ්‌ඩුව ලබාගෙන ඇති විදේශ ණය ගෙවීම සඳහා ජනතාවට රාජපක්‌ෂ බද්දක් පැනවීමට සිදුව ඇති බව මුදල් ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කළා. ආදායම් බදු සහ වැට් බදු සඳහා නව සංශෝධන සිදුකරමින් ආණ්‌ඩුව ජනතා හිස මත තැබූ මේ රාජපක්‌ෂ බද්ද තුළින් ආණ්‌ඩුවට ආදායමක් ලැබෙන නමුත් නිෂ්පාදන ක්‍රියාවලියට හා ආයෝජන ප්‍රවර්ධනයට ඉන් අහිතකර බලපෑම් ඇති විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්නයන් පවසයි. ආණ්‌ඩුව හදිසියේම ප්‍රකාශයට පත් කළ නව බදු සංශෝධන පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය මහාචාර්ය සිරිමල් අබේරත්නයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.
පසුගිය ආණ්‌ඩුව ජාතික ණය පද්ධතියට ඇතුළත් නොකර ලබා ගත් විශාල ණය මුදලක් ගෙවීමට මෙම බදු සංශෝධන සිදු කළ බවයි ආණ්‌ඩුව කියන්නෙ?
මේ බදු සංශෝධන පුදුමයට කාරණාවක් නෙමෙයි. දේශපාලනයත් සමග මිශ්‍ර කරගත් ආර්ථික ප්‍රතිපත්ති අවුරුදු ගණනාවක් ක්‍රියාත්මක කරල ඒ පාරෙ දැන් අපේ රටට මීට වඩා යන්න දුරක් නෑ. එක්‌කෝ සෞභාග්‍යය නැතිනම් දුර්භාග්‍යය තෝරාගන්න තැනට දැන් රට ඇවිල්ල ඉවරයි.
රටේ ලොකු ණය බරක් තිබෙන බව ඇත්ත. පසුගිය රජය ගත්තු ණයත් තිබෙනවා. විශාල අයවැය පරතරයකුත් තිබෙනවා. එයට පසුගිය රජයේ අයවැය ප්‍රතිපත්ති වගේම මේ රජයේත් අයවැය ප්‍රතිපත්ති හේතු වුණා. පසුගිය රජය අවසාන වරට ඉදිරිපත් කළ අයවැය එහෙම්පිටින්ම ඉලෙක්‌ෂන් අයවැයක්. මේ ආණ්‌ඩුව පත්වෙලා ඉදිරිපත් කළ සංශෝධිත අයවැයත් ඊටත් වඩා ඉලෙක්‌ෂන් අයවැයක්.
මේ සුරංගනා කතා හැමදාම කිය කියා ඉන්න බෑ. හැම ආණ්‌ඩුවක්‌ම ණය ගත්තා. ඒ ගත්තු ණයවලින් ආරම්භ කළ ව්‍යාපෘති බොහොමයක් එයින් අපේක්‌ෂිත ආදායම රටට ලබාදීල නෑ. වරායවල් හැදුව නැව් නෑ. එයාපෝර්ට් හැදුව ප්ලේන් නෑ. ආයෝජනයක් කරන විට එහි ප්‍රතිඵලයක් තියෙන්න ඕන. ඒ ආයෝජනය කරන්නෙ ණයට අරගෙන නම් ඉන් අපේක්‌ෂිත ආදායම නොලැබෙන විට ප්‍රතිඵලය තවත් භයානකයි.
රට වැටිල තියෙන මේ ආර්ථික අර්බුදය එක පුද්ගලයකුගෙ එක පක්‌ෂයක ගිණුමට බැර කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපේ රටේ මේ ප්‍රශ්නය වසරකට හමාරකට කලින් ඇති වූවක් නෙමෙයි. පසුගිය මැතිවරණයෙන් කවුරු බලයට පත් වුණත් මේ අර්බුදයට මුහුණ දීමට සිදුවන බව දැනගෙන රටේ බලය අතට ගත යුතුව තිබුණේ ඊට විසඳුමකුත් ඇතිව බවයි මගේ අදහස. නමුත් මේ ආණ්‌ඩුව යටතේ ගෙවුණු පසුගිය අවුරුදු එක හමාර තුළ මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණු බවක් අපි දුටුවෙ නෑ. මේ ආණ්‌ඩුව බලය අතට ගන්න විට මෙබඳු ආර්ථික ප්‍රශ්නයක් රටේ තිබෙන බවක් කිව්වෙත් නෑ. නමුත් රටේ ආර්ථිකයේ තිබුණ මේ අවදානම ගැන අනතුරු අඟවපු විද්වතුන් පිරිසකුත් හිටියා. මේ ප්‍රශ්නය තමන්ගෙ ඇඟට දාගන්නෙ නැතිව ඒ අය කියන දේ ගැන අවධානය යොමු කරල අපි මෙබඳු වැඩපිළිවෙළකට යමු කියල ආණ්‌ඩුව ජනතාවට යෝජනා කෙරුවෙත් නෑ. නමුත් තවදුරටත් සිහින මවන්න බැරි තරමට ආණ්‌ඩුවත් දැන් අසරණ වෙලයි ඉන්නෙ. මේ වන විට ජාත්‍යන්තර වශයෙන් අපේ රටට ණය දෙන ප්‍රමාණයනුත් අඩු වෙලා තිබෙනවා. රටේ ආර්ථිකයේ මෙබඳු තත්ත්වයක් තිබෙන විට එවැනි දේ සිදුවීමත් පුදුමයක් නෙමෙයි. රටේ එවැනි තත්ත්වයක් ඇතිවෙන විට ඊට මුහුණ දෙන්න මේ විදිහේ බදු සංශෝධන සිදුකිරීමත් පුදුමයට කාරණයක් නෙමෙයි. මේ ඉදිරිපත් කර තිබෙන බදු සංශෝධනවලට වඩා ජනතාවට දැනෙන, මීට වඩා බර පැටවෙන බදු ඉදිරි කාලයේ බලාපොරොත්තු විය යුතු බවයි මගේ අදහස.
මේ පැනවූ බදුවලින් අඩු ආදායම් ලාභීන්ට කිසිදු බරක් නැති බව ආණ්‌ඩුව කියනවා?
මේ රට පොහොසත් රටක් කරන බව ආණ්‌ඩුව කියනවා. මිලියනයකට රැකියා දෙන බවත් කියනවා. මේ ඉදිරිපත් කර තිබෙන බදු සංශෝධනවලින් එකක් වැට් බදු වැඩිකිරීම. වැට් බදු පනවා ඇති ආහාර පාන, බඩු භාණ්‌ඩ පොහොසත් අයත් ගන්නවා. දුප්පත් අයත් ගන්නවා. දුප්පත් අයට වඩා වැඩියෙන් පොහොසත් අය ගන්නවා විය හැකියි. නමුත් මේ භාණ්‌ඩ මිලදි ගන්න හැම කෙනෙකුටම වැට් බද්ද විවිධ ප්‍රමාණවලින් ගෙවන්න සිදු වෙනවා. අඩු ආදායම් ලබන අයට මේ බදු සංශෝධනවලින් බරක් නෑ කියල කියන්න බෑ.
අනිත් කාරණය මේ පනවා ඇති ඇතැම් බදු බලපාන්නෙ නිෂ්පාදකයින්ට සහ ආයෝජකයින්ට. අපේ රටේ ආයෝජන කරන අයට ඒ සඳහා සුදුසු පරිසරයක් තවම නිර්මාණය නොවීමේ ප්‍රශ්නයක් තාම තිබෙනවා. රටේ එවැනි තත්ත්වයක් තිබියදී ආයෝජකයින්ට බලපාන අලුත් බදු ඇතිවන විට ආයෝජකයො අපේ රටට ඒම තවදුරටත් අඩු වෙනවා. රටේ ආයෝජන නැතිවන විට කොහොමද රස්‌සා ඇති කරන්නෙ? ආණ්‌ඩුව දැන් රස්‌සා දීල තවදුරටත් ඒක කළ නොහැකි තැනට දැන් පත්වෙලා ඉවරයි. ජනතාවට සුබසාධන ලබාදීම සම්බන්ධයෙනුත් එහෙමයි. ඒ පාරෙත් දැන් කෙළවරටම ගිහින් ඉවරයි. බදු පනවන්නෙ නැතිව තවදුරටත් යන්න බෑ.
ආණ්‌ඩුව නව බදු සංශෝධන ගෙන එන්නේ රට හිරවෙලා තිබෙන ණය උගුලෙන් ගැලවෙන්න වෙනත් විසඳුමක් නැති නිසා ද?
ඒක වෙන්න පුළුවන්. රටක් මේ විදිහේ ණය අර්බුදයකට වැටුණහම මේ විදිහේ රෝල් ගහන්නෙ නැතිව ගෙනියන්න බෑ. නමුත් මේක තාවකාලික පිළියමක් විතරයි. අපේ රටේ ණය අර්බුදය ටිකෙන් ටික උත්සන්න වෙලා එය උග්‍ර තත්ත්වයට පත් වෙන විටත් හැම ආණ්‌ඩුවක්‌ම කළේ තව තවත් ණය අරගෙන ඒ තත්ත්වය තාවකාලිකව යටපත් කිරීමයි. ඒ තත්ත්වයෙනුත් තව දුරටත් යන්න බැරි නිසා දැන් බදු සංශෝධන කරමින් ආදායම් උපයන්න සිදුවෙලා තිබෙනවා. මේ බදු සංශෝධන තුළින් ආණ්‌ඩුවේ ආදායම වැඩිවෙන්න පුළුවන් වගේම නිෂ්පාදන හා ආයෝජන අඩුවීම නිසා අපේක්‌ෂිත ආදායම නොලැබෙන්නත් පුළුවන්. ආයෝජනය කරන මුදලට තිබෙන ආරක්‌ෂාව සහ රටේ දේශපාලන ස්‌ථාවරත්වය රටක ආයෝජන වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු දෙකක්. ආයෝජකයින්ට කිසියම් රටක ආර්ථිකයේ ගමන යහපත් ලෙස පුරෝකථනය කරගත හැකිනම් එවැනි රටවල මුදල් ආයෝජනය කරන්න ඔවුන් පෙලඹෙනවා. අපේ රටේ ආර්ථික ගමන්මග පිළිබඳ එවැනි පුරෝකථනයන් කිරීමට නොහැකිවීමත් අපේ රටට ආයෝජනය අඩුවීමට හේතුවක්. ආයෝජකයින්ට හා නිෂ්පාදකයින්ට බලපාන මෙවැනි හදිසි බදු සංශෝධන ඉදිරිපත් වන විට ආයෝජකයෝ දුර්මුඛ වීම විශාල පාඩුවක්. ආර්ථික අස්‌ථාවරත්වය වගේම දේශපාලන අස්‌ථාවරත්වයකුත් අපේ රටේ තිබෙනවා. සිංගප්පූරුව වැනි රටවලට වසරකට බිලියන හැට හැත්තෑවක ආයෝජන ලැබෙන්නේ ඒ රටවල එබඳු තත්ත්වයක් නැති නිසයි. කරකියාගන්න දෙයක් නැති නිසා බදු වැඩිකළා වෙන්න පුළුවන්. නමුත් එයින් දිගුකාලීනව රටේ ආර්ථිකයට හානියක් මිස වාසියක් නෑ.
මේ ආණ්‌ඩුව පත්වූ පසු රටේ නිල මූල්‍ය සංචිත වේගයෙන් අඩුවීමට පටන් ගෙන ඇති බව විපක්‌ෂය කරන ප්‍රකාශයක්. මෙය අනතුරුදායක තත්ත්වයක් බවයි ඔවුන් කියන්නෙ?
මූල්‍ය සංචිත අඩුවීමට හේතුව රටට එන විදේශ විනිමය අඩුවීම. අපේ රටේ අපනයන ප්‍රවර්ධනය නොවීම ඊටත් ප්‍රධාන හේතුවක්. මේ ප්‍රශ්නයට සෘජුව අත ගහන්නෙ නැතිව මැදපෙරදිග යන අය එවන මුදල් වැනි මාර්ග ඔස්‌සේ එසේත් නැත්නම් ණය ගැනීම ඔස්‌සේ මේ ප්‍රශ්නයට තාවකාලික පිළියම් සොයන්න උත්සාහ දරනවා. නමුත් සැබෑ ප්‍රශ්නය තිබෙන්නෙ වෙන තැනක. එනම් ආයෝජන ප්‍රවර්ධනය නොවීම සහ ඊට නිසි පිළියම් නොයෙදීම. රටට විදේශ විනිමය නොලැබෙන විට ඩොලරයේ අගය ඉහළ යැම පාලනය කර ගැනීමට තමුන්ගේ තිබෙන මූල්‍ය සංචිතවලින් මුදල් නිකුත් කිරීමට මහ බැංකුව පියවර ගන්නවා. රටේ මූල්‍ය සංචිත අඩුවෙන්නේ එහෙමයි. මෙය අද අපේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේම කොටසක්.
විදේශ ණය ගැනීම සහ මේ විදියේ බදු සංශෝධන සිදුකිරීම තාවකාලික විසඳුමක් මිස අපේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට ස්‌ථිර විසඳුමක් නොවන බව ඔබ ප්‍රකාශ කළා. පැලැස්‌තර අලවමින් රටට හැමදාම මේ ගමන යන්න බෑ. ආණ්‌ඩුව දැන් කළ යුත්තේ කුමක්‌ද?
අද තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක ආණ්‌ඩුවට සල්ලි නෑ. රටට විදේශ විනිමය නෑ. රටේ ආයෝජන ප්‍රවර්ධනය නොවීම මේ ප්‍රශ්න දෙකටම සෘජුවම බලපානවා. මේ ප්‍රශ්න දෙකට විසඳුම් සෙවීම ආරම්භ කරන්න වෙන්නෙ තාවකාලික පැලැස්‌තරවලින්ම තමයි. ආණ්‌ඩුවට තවදුරටත් ණය ගන්න සිදුවේවි. රට මේ අර්බුදයට වැටුණෙ ණය ගත්ත නිසා නොවෙයි. ගත්තු ණය හරියට වියදම් නොකළ නිසා. එයින් ආරම්භ කළ ව්‍යාපෘතිවලින් අපේක්‌ෂිත ආදායම් නොලැබුණු නිසා.
දෙවැන්න පෞද්ගලික අංශය සහභාගි කරවාගෙන ඔවුන්ට මුළුමනින්ම භාරදිය යුතු ව්‍යාපෘති ගණනාවක් අපේ රටේ තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය පවා ආණ්‌ඩුව අතේ තියාගන්නෙ නැතිව පෞද්ගලික අංශයට දෙන්න පුළුවන්. එබඳු ව්‍යාපෘති රැසක් රටේ තිබෙනවා. ඊළඟට සෑම ක්‌ෂේත්‍රයකම පූර්ණ ප්‍රතිසංස්‌කරණයකට යා යුතු වෙනවා. අයවැය සම්බන්ධයෙන් මෙන්ම ආණ්‌ඩුවේ ආයතන සම්බන්ධයෙනුත් මේ ප්‍රතිසංස්‌කරණයන් අවශ්‍යයි. ආණ්‌ඩුව ජනතාවත් සමග සංවාදශීලීව මේ ප්‍රතිසංස්‌කරණ සඳහා පියවර ගත යුතු වෙනවා. පසුගිය කාලය පුරාම ස්‌වාධීන පුද්ගලයින් විවිධ මාධ්‍ය ඔස්‌සේ එබඳු වැඩපිළිවෙළක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමටත් උත්සාහ ගත්තා. නමුත් ඊට ආණ්‌ඩුවෙන් නිසි ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. මේ අර්බුදයෙන් ගොඩ ආ හැක්‌කේ ජනතාවත් සමග සංවාදශීලීව සෑම ක්‌ෂේත්‍රයකම සිදුකරන පූර්ණ ප්‍රතිසංස්‌කරණයක් තුළින් පමණයි.
සාකච්ඡා කළේ පාලිත සේනානායක