- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ"
Image copyright udayanga weeratunga/facebook
Image caption උදයංග වීරතුංගට (දකුණු පසින්) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව පැවසෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් කොහෙවත් යන්න බැරි" බව නීතීපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
නීතීපති දෙපාර්තමේන්තුව ඒ බව දැනුම් දුන්නේ අක්‍රමිකතා සිදුව ඇති බව පැවසෙන මිග් ගණුදෙනුව පිළිබඳ නඩුව සිකුරාදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණ නඩුවට මුහුණ දෙන බව උදයංග වීරතුංග තමන්ට දැනුම්දී තිබෙන බව සඳහන් කළහ.
ඔහුගේ වැඩකටයුතු අවසන් කර නැවත පැමිණීමට යම් කාලයක් ගතවනු ඇති බව ද ඔවුහු අධිකරණයට දැනුම් දුන්හ.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කිරීම ගැන තම ස්තූතිය පළ කළ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා, ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඔහු කළ යුත්තේ ඔහුට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට පවතින නඩුවට පෙනී සිට ශ්‍රී ලංකාවට යෑමට සිය කැමැත්ත දැනුම් දීම යයි සඳහන් කළේය.
Image copyright Getty Images
Image caption ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වේ
"ඔහුට ස්වේච්ඡාවෙන් කොහෙවත් යන්න බැහැ" යනුවෙන් කී රජයේ නීතිවේදියා ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කළහොත් එමීර් රාජ්‍ය බලධාරීන් ඔහු ශ්‍රී ලංකාවට භාර දෙනු ඇතැයි කියා සිටියේය.
උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා නඩු කටයුත්තක් දැනටමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ අධිකරණයේ විභාග වන බව පැවසූ ඔහු ඒ අනුව ඉදිරි කටයුතු සිදුවනු ඇති බවත් සඳහන් කළේය.
එමීර් රාජ්‍ය බලධාරීන් උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට භාරදුනහොත් ඔහු එම රට තුළදීම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුල දී අත්අඩංගුවට ගත හැකි බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන්යානය ශ්‍රී ලංකාවේ දේපලක් හා භූමියක් ලෙස සැලකෙන බැවින් එය සිදුකළ හැකි බව ද රජයේ නීතිවේදියා සඳහන් කළේය.
මෙයට පිළිතුරු දෙමින් උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පැවසුවේ ඔහුට අවශ්‍යනම් ශ්‍රී ලංකාවට නොපැමිණ සිටීමට ද හැකියාව තිබෙන බවය.
තම සේවාදායකයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන අවස්ථාවක නීතිපති දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි බවත් ඔහු පැවසුවේය.
මේ අතර උදයංග වීරතුංගගේ ශ්‍රී ලංකාවේ ඇති ගිණුමකින් රුපියල් කෝටි 3කට වැඩි මුදලක් එමීර් රාජ්‍යයේ ගිණුමකට මෑතකදී බැරවීම ගැන ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මිග් ගනුදෙනුවට සම්බන්ධ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් පස් දෙනකුගේ බැංකු ගිණුම් 40ක් ගැන ද පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනා ප්‍රතික්ෂේප කරන උදයංග වීරතුංග ඔහුට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග හඳුන්වන්නේ "දේශපාලන පළිගැනීමක්" ලෙසය.
උදයංග වීරතුංග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බව හිටපු ජනාධිපතිවරයා ද පසුගියදා පවසා තිබිණි.
හිටපු ජනාධිපතිවරයා විදේශ සංචාරවල නියැලුණු ඇතැම් අවස්ථාවලදී උදයංග වීරතුංග ද ඔහු සමග සිටින ආකාරය දැක්වෙන ඡායාරූප මීට පෙර මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණ.